මහා කාරුණික අති දයාන්විත අල්ලාහ්ගේ නාමයෙන් අරම්භ කරමි, පැසසුම් සියල්ල සර්වඥාන අල්ලාහ්ට අයත්වේ. ඉතසිතින් ඔහු ප්‍රසංසා කර ඔහුගෙන්ම සහය සහ දයාව පතා සිටිමු.

සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලබන අප මුස්ලිම් දරුවන්ගේ මෙන්ම සිංහලෙන් කතා කරන හෝ සිංහල භාෂාව ප්‍රාථමික භාෂාව වූ සුවහසක් මුස්ලිම්වරුන්ගේ දැඩි කාලීන අවශ්‍යතාවක්ව පවතින සිංහල මාධයෙන් අල්-කුර්ආනය සවිස්තරාත්මකව දැන ගැනීමේ සම්පත් මධ්‍යස්ථානයක (Resource Center) අවශ්‍යතාව සපුරාලීම වස් ගනු ලැබූ උත්සාහයක ප්‍රතිපලයක් ලෙස මෙම වෙබ් අඩවිය අප හදුන්වා දෙමු.

දෙවියන් වහන්සේ විසින් අල් කුර්ආනය පහල කිරීමට අරාබි භාෂාව තෝරා ගනු ලැබුවේ එහි තිබෙන සංකීර්ණ බව සහ ගැඹුරු බව වන නිසා වන්නට පුළුවන. ලොවෙහි පවතින අග්‍රගන්‍ය භාෂාවන්ගෙන් එකක් වන අරාබි භාෂාව වසර 1400 ක් පුරාවටම කිසිඳු වෙනස් වීමකට ලක් නොවී තිබීම අරාබි භාෂාවේ ඇති තවත් විශේෂත්වයකි.

මෙහි ලියැවී ඇති පරිවර්තනය අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් පහළ කල ආකාරයටම සිංහලයට පරිවර්තනය කර ඇති බව කිසි සේත්ම නොසිතන්න. මෙය පැහැදිලි කිරීමට ඉතා සරල උදාහරණයක් ගෙන හැර දක්වන්නම්. සිංහල භාෂාවේ ඇති නුඹ, ඔබ, නුඹලා, ඔබලා, උඹ, උඹලා, බොලා, ඔයා, ඔහේ, තමුසේ, තමුන්නාන්සේ යන වචන එකිනෙකට වෙනස් අර්ථ ගැන්වුවත් ඉංගිරිසියෙන් මෙය පරිවර්තනය කිරීමේදී “You” යන වචනයෙන් පමණක් භාවිතා කිරීම සිදුවේ. මෙමගින් සිංහල වචනයේ ඇති නිවැරදි අදහස ඉංගිරිසි භාෂාවට පරිවර්තනය කල නොහැකිබව ඔබට අවබෝධ වනු ඇත. මේ හා සමානවම අරාබි බස සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේදී බොහෝ ගැටළු මතුවන බවත් සමහරක් බැරෑරුම් වචන පරිවර්තනයේදී එය හා බොහෝ දුරට හෝ යම් තාක් දුරට සමාන වචන භාවිතා කිරීමට සිදුවූ බවත් පැවසීම බොරුවක් නොවේ.

තවත් සරල උදාහරණයක් ලෙස “where did you go” යන්න “කොහෙද ඔබ ගියේ” යයි පරිවර්තනය කලත් සාමාන්‍ය ව්‍යවහාරයේදී “ඔබ කොහෙද ගියේ” යන්න වඩාත් උචිත පරිවර්තනය වේ. රුසියානු බසින් එම වාක්‍යම  පරිවර්තනය කළහොත් “කොහෙද ගියේ ඔබ” යන්න ලැබෙණු ඇත. මෙලෙස යම් භාෂාවක් අදහස 100% ක් නිවැරදිව එන ලෙස එක් භාෂාවකින් තවත් භාෂාවකට පරිවර්තය කිරීම කල නොහැකි වන බව ඔබට තේරෙනු ඇත. ඒ එකිනෙක භාෂාවන්වලට ඒවාටම ආවේණික වූ විශේෂණ ඇති නිසාය. අරාබි භාෂාවට එයටම ආවේණික වූ විශේෂණ තිබේ. මෙහි ඇති කාව්‍යමය රසය, එළිසමය, ප්‍රශ්නාර්ථ සහිත යෙදුම් වැනි විශේෂණ නිසා මෙවන් භාෂාවක් නිවැරදිව සහ එහි අදහස නිවැරදිවම දෙන ලෙසට පරිවර්තනය කිරීම ප්‍රායෝගිකව කල නොහැක්කකි.

එහෙයින් අප දරන මෙම උත්සාහය, අරාබි බසින් පහළ වූ සත්‍ය ශුද්ධ වූ අල්-කුර්ආනය වෙනුවට සිංහලෙන් ලියවුනු පරිවර්තනයක් ලෙස ගෙන හැර දැක්වීමට වඩා අරාබි බසින් ඇති අල්-කුර්ආනයේ ඇති කරුණු යම් තාක් දුරට ඔබට තේරෙන බසින් පරිවර්තනය කිරීමට ගත් වෑයමක ප්‍රතිපලයක් බව පැවසීම වඩාත් උචිතවේ. නිවැරදි අල් කුර්ආනය දැනගැනීමට නම් ඔබ අනිවාර්යයෙන් අරාබි බස උගත යුතු සහ ඒ අරාබි බසින් ලියවුනු අල් කුර්ආනයම පමණක් පරිශීලනය කල යුතු බව පවසා සිටීමට කැමැත්තෙමු.

අප මෙම ගනු ලබන වෑයමෙන් ඉස්ලාම් දහමෙන් ඈත්වී නොමග සිටින්නන් හට හා මුළු මහත් මුස්ලිම් සමාජයේම සියලු දෙනා හට සැකයෙන් සහ ඌනයෙන් තොරව ඉස්ලාම් දහම වටහා ගැනීමට අවස්ථාවක් වීම සදහා වරම් ලැබෙන ලෙසට මෙම යහ ක්‍රියාව කරනු වස් කරුණාබර වූ අල්ලාහ් දෙවිඳුගෙන්ම අයදිමු. අප කරනු ලබන මෙම කර්තව්‍යය මෙලොව කිසිඳු ලාභ ප්‍රයෝජනයක් සඳහා නොව, දෙවියන්ගේ තෘප්තිය පතා පමණක් සිදු කරනු සඳහා දෙවිඳුනි අපට මග පෙන්වනු මැනවි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Download Sinhala Fonts


ප්‍රවර්ග


ටැග් වලාව